Tuesday, September 27, 2016

චේතනාහං භික්කවේ...




" ඔය කෙල්ලො ඔහොම අඳින්නේ පේන්නමයි.. නැත්නම් මොකක්ද? කොහොමහරි කොල්ලෙක් අල්ලගන්නයි හදන්නේ.. බලන්න හැටි ඇඳුමෙ...."

බස් එකේ මුල්ලක වාඩිවෙලා..
ජයසේන ජයකොඩි මහත්තයාගෙ තියෙන සමාජමය සම්‍යයක් දෘශ්‍ටිය
ගැන හිත හිත හිටිය මට..
කන වැකුන දෙයක්...


*පැමිණිලිකාරිය : 

අවුරුදු 60 - 65 වගේ වයසක් ඉන්න ආච්චි කෙනෙක්..

මගෙ එහාමයි.... 

කෑලි තුනේ ශීට් එකේ මැදින් වාඩි වෙලා.. 
මං අයිනෙ ම.. ආච්චි මැද.. 
තවත් ඒ වයසෙ ම වගේ සීයෙක් (හබී වෙන්ඩෝනි මයෙ හිතේ...)

*විත්තිකාරිය : 

ලැප් බෑග් එකකුත් අරගෙන අපි ඉන්න තැන පහු කරන් ගිය තරුණ කෙල්ලක්... 
ඕනි නම් මට වඩා අවුරුද්දක් වැඩිමහල් ඇති..

*චෝදනාව :  

ඇඳුම.. 

ලොකු ම අවුලක් නම් මං දැක්කෙ නෑ.. 

අත් කපපු පළල් කර තියෙන උඩුවැස්මකුයි,

(අසාමාන්‍ය නම් ඇති, එක ම ආකාරයේ ඇඳුම් වලට විවිධ නම් කියන කාන්තා ඇඳුම් පිලිබඳ නොදැනුවත්කම හේතුවෙන් එකෙස පැවසූ වගයි....!!)

දණහිසට වඩා අඟලක් විතර උඩ මට්ටමින් අවසන් උන සායකුයි ඇඳන් හිටියා..

ආච්චි මූණ බ්ලැක්බෙරි කරං කිව්වේ අහල හිටපු වයසක ඇත්තාට...
ඒ ගමන මනුස්සයත් බැලුවා.. බලන්ඩ කිව්වනෙ..

බස් එකේ දෙහි ගෙඩි හතරක විතර උස තියෙන ඉස්කෝලෙ යන ඩෑල් දෙකක් කතාව.. 

අප්පද බොල.. 

කතාව නතර කරලා.. ඇස් වහලෙ හරියෙ හයි කරලා බැලුවෙ..

ඊළගට කොන්දා.... 

මිනිහට හිතේ බස් එකේ දිග ඒ අක්කා ඉන්න තැනින් ඉවරයි කියලා.. එන්නෙම නෑ..

 එතනමයි.. 
මොනාදෝ කියනවා අක්කට...

ඒ අක්කා ගැටහැත්තෙන් බැහැලා යනකන් මේ බැලිල්ල තිබුණා...
ඒක විඩෙන් විඩේට මගේ දෘෂ්ටි විතානයේ සටහන් උනා..
………………………………………………

ඉන් පස්සේ ඔය සිද්ධිය ආයි හිත අස්සේ ඉස්මතු උනේ ජයකොඩි මහත්තයගෙ තෙර තරණය පොත කියවද්දි...

ගෝතමී ගැන හිතුව පුණ්ණජී සාමණේරට රාහුල හාමුදුරුවෝ දුන්න උපදේසෙ එක්ක..

ඇත්තට ම කියන්නහේ ලස්සන ස්ත්‍රී පරාණ කියන්නේ කාම පුංජයන් ද? දැක්කා ම ඉන්න බැරිවෙනව ද??

කාම පුංජයන් කරගන්නෙ අපිනෙ...

මට හිතෙන්නේ පිටට පේන දේ බලලා ඇතුල මවාගන්න හදන එක තමා වැරැද්ද..
අර අක්කාගෙ ඇඳුම ඒ ඇත්තිට ප්‍රශ්නයක් උනේ නෑ.. අසංවර විදිහට හිටියෙත් නෑ..

ප්‍රශ්නෙ තිබුනේ ආච්චිට.. 

කොරවක්කො වගේ බෙල්ල හරෝ හරෝ නොපෙනෙන තැන් බලන්න හදපු ඇබිටිල්ලො දෙන්නට..

විහිලු කරලා අක්කා හිනස්සවන්න හදපු කොන්දා මහතාට..

දැන් දැන් වෙන දූෂණ සිද්දි වලදී විත්තිකාරයාගෙ කටින් එන සුලබ ම වාක්‍යයක් තමා..

-- හිටිය හැටි දක්කාම මොනා උනාද දන්නෑ බුදු සර්.. මට උන් හිටි තැන් අමතක උනා --

ඕවගේ ඒවෑදි ගමේ මහෝපසිකාවන්ගෙනුත් පිටවන වදන් මාලාවක් තියේ..

-- ආ ඕකිද ? ඕකිගෙ කෙරුවාව අපි දන්නවා හොඳට.. නටෝ නටෝ යද්දි හිතුනා වෙයි කියලා ඕක.. --
වැරැද්ද කෙල්ලගේ...

පිංවත් පුරුෂයාගෙ වැරැද්දක් නෑ... ඒ මහත්තයට ඔහොම හිතුන එක සාධාරණයි... 

මාර තීන්දුනෙ අප්පා...

කොටට ඇඳලා නෙවෙයි පටාචාරා වගේ නිර්වස්ත්‍රයෙන් ගියත් ඒ ඇත්තිට හොඳ නම් අපට මොකෑ...
බලන්න ඕනිම නම් බැලුවත් කියමුකෝ..


තාම පුහුදුන් නිසා...

ඊට පස්සේ ඒ කෙල්ලව නාමකරණය කරන්නෙ මොන එහෙකට ද??

'පට්ට කඳ..'

'සුපිරි ගල..'

'මට ෂුවර් ඕකි බඩුවක්..'

'හම්බේ ඩිකිය..'
.

අල්ලගන්නෙ අපි... නම් දෙන්නෙත් අපි...


ඔහොම නැතුව කාන්තාව කියන කුලකය අස්සේ විතරක් තියන්න පුලුවන් නම් කිලිටි කරගන්නැතුව ඉන්න තිබ්බා...
වෙන මක්කවත් නෙවේ.. අපේ හිත...

එහෙම නැතුව ඒ ගැහැනිය ව ගෙදර ගෙනැල්ලා..
ඊලඟට ඇඳ උඩටත් කැන්දන් එන එක කිසිම තේරුමක් නෑ..


සති ගනන් මතක් කර කර තියාගෙන ඉන්න තව කොච්චර දේවල් තියෙද අප්පා...

ඒ හින්දා,

රාහුල හාමුදුරුවෝ කිව්වා වගේ..

අතින් ඇල්ලුවට හිතින් අල්ලන් නැතුව ඉන්න ඇහැකි නම් කොච්චර දෙයක් ද???
.
#______________සිහින______

Thursday, September 15, 2016

අවාසනාවට ඇත්ත කතාවක්..

ඉරිදා දවල් මට අවිස්සාවේල්ලේ පංති ය. සූදානම් වී හමාර වන විට 12.30 ද පසු වී තිබුනි. රත්නපුර අවිස්සාවේල්ල බසයක් එනතුරු සිටියේ කොතරම් ප්‍රමාද වූවත් දුර බස් වල සිටගෙන යාම එපා වන සුලු නිසා ය. ඒ අතර මගේ මිතුරෙක් ද හමුවිය. කතා කරමින් සිටින අතරතුර බසයක් පැමිනියේ ය. අපි ඊට ගොඩ වීමු. පසුපස ම අසුනේ තිදෙනෙක්ට ඉඩ තිබුනු අතර අපි එහි වාඩි වුනෙමු. තවත් කිහිප දෙනෙක් ම සිටගෙන සිටියහ. පංති යන කෙල්ලන් දෙදෙනෙක් ද විය. නංගිලා දෙන්නෙකි. රූමත් ය. කොන්දොස්තර මුදල් ගත්තේ ද නෑ වාගේ මතක ය. පසුපස දොර ආසන්නයේ ම ඔවුහු සිටගෙන සිටගෙන සිටියහ. මගේ මිතුරා ඍජුව ම ද, මම හොරෙන් ද බැලුවෙමු. පෙනුමේ කියන්න වරදක් නැත.
.
මගේ මිතුරා මීන්නානෙන් බැස්සේ ය. මම එදින පංතියේ නිබන්ධනයක් පෙරලගෙන බලන්නට වීමි. අසුන හිස් ව තිබෙනු දුටු කොන්දොස්තරවරයා ඉදිරියේ සිට විදුලි වේගයෙන් පසු පසට පැමින ඉහත කී නංගිලා දෙදෙනාට අසුන් ගන්නා ලෙස ඇරයුම් කලේ ය. ඒ මට ද පැත්තකට වෙන්නැයි යන විධනයත් සමගිනි.
.
"නංගී වාඩි වෙන්න.. එන්න.. ඉඩ තියෙන්නෙ මේ.. ඒ මල්ලි පොඩ්ඩක් එහාට යන්න.."
ඇරයුම පිලිගන්නා පාටක් නැත. කොන්දාත් වැඩේ අතාරින්නේ නැත.
.
"එන්න ලමයො මෙතනින් වාඩි වෙන්න.. කට්ටිය පිරුනා ම ආයෙ ශීට් හම්බෙන එකක් නෑ.."
.
මරු ය. ඔවුන් වාඩි වුනි. මට ද සතුටු ය. ඒත් නිබන්ධනය කියවා අවසන් කල යුතුව ඇත. හිත පාලනය කරගෙන නැවත ඇස් නිබන්ධයට යොමු කලෙමි.
.
ටික වේලාවක් යන තුරු මට ඔවුන් ගැන අවධානයක් නැති විය. ගැටහැත්තේ දී වයසක ආච්චි අම්මා කෙනෙක් බසයට නැග්ගාය. ඇයට බසයට නැගීමටවත් වාරු නැත. නංගිලාට ගානක් නැත. ආච්චි අම්මා දෙස බලා නැවත කතාව ය. මට සිටගෙන යාමට හැකි බව විශ්වාස නිසා නැගිට අසුන ලබා දුන්නෙමි. ආච්චි අම්මා සිනාසී ඉඳගත්‍තා ය. ඇගේ අත නංගියෙක්ගේ අතේ හැපේ. ඒකට නංගිට අවුල් වගේ ය. දෙතුන් වරක් රවනවා දුටුවෙමි. අනිකා කොන්දා ය. ආච්චි අම්මා බහිනවා කිව්වේ මාදොලිනි. නංගිලා ඉදිරියේ හුරතල් වුන කොන්දාගේ කටහඬ දැඩි විය.
.
"මේ මේ මාදොලින් බහිනවා නං ඉස්සරහට ගිහින් බහින්න.. කිව්වනෙ ටවුන් විතරක් නගින්න කියලා.. බහින්න හැට පැයක් ගනී දැන්.. ඕන් නම් ඉස්සරහට ගිහින් බහින එකයි ඇත්තේ.."
ඌ තව මොනාදෝ මුමුණයි.
.
ආච්චි අම්මා අමාරුවෙන් නැගිටින්න තැනුවා ය. ඈ වැටෙන්නට යාම නිසා නංගියෙක්ගේ අත අල්ලා ගත්තා ය. ඒ කෙල්ල එක වර අත ගසා දැමුවේ 'මොන කරදරයක් ද' කියමිනි.
.
දැන් නම් මට කතා කතා නොකර සිටීමට බැරිය. නංගිලාගෙන් කම් නැත. කොන්දාව හා නංගිලා ව ඇමතුවෙමි.
.
"ආච්ච් අම්මා ඔතන ඉඳගෙන ඉන්න.. ඉස්සරහින් හරි පස්සෙන් හරි බහින්න බස් එක නවත්තන්න ඕනිනේ.. අයියේ බස් එකට අමාරුවෙන් නැග්ග මේ ආච්චි අම්මට ඔයා හිතනවද මේ යන වේගෙත් එක්ක ඉස්සරහට යන්න පුලුවන් කියලා.. මොන දොරෙන් බැස්සත් බහින්න යන්නෙ එකම වෙලාවනෙ.. ඔයා මේ දොර මාදොලදි වහන්නෙ නෑනෙ.. මේ ආච්චි අම්මා පිනට යන් නෑ බස් එකේ.. සල්ලී දුන්නා.. ඔයාලගෙ වගකීම එයාව බහින්න ඕනි තැනින් පරිස්සමට බස්සන එක.. දැන් මේකෙ ඉස්සරහට යන්න ගිහින් මෙයා වැටුනොත් ඔයා වගකියන් නෑනෙ.. අනික නංගි මේ ආච්චි අම්මා මේ විදිහට ඉපදුන්නෑ.. ඔයාල වගෙත් හිටියා.. වැටෙන්න යද්දි ඔයගෙ අතින් අල්ලපු එක ඔයාට කරදරයක් නම් ඔයාගෙ අම්මා පව්.. එයාට කියන්න වයසට යන්න එපා කියලා..නැත්නම් එයාවත් ඔයාට කරදරයක් වෙයි.. නංගි.. ඔයලා හැමදාම ඔහොම ඉන්නෙ නෑ.. ඒක තේරුම් ගන්න.. නිකං ලස්සනයි කියලා උඩඟු වෙන්න එපා.. ආච්චි අම්මේ.. ඔතන ඉඳගෙන ඉන්න.. මාදොලදි මං ආච්චි අම්මාව බස්සන්නම්.."
.
කොන්දා වචනයක්වත් නොකියා ඉදිරියට ගියේය. නංගිලා දෙන්නා රතු වෙලා ය. තරඟයට මෙන් මට රවන්න පටන් ගත්හ. ඒවායින් මට වැඩක් නැත. මාදොලට පැමිනි විට ආච්චි අම්මාට බැසීමට අවශ්‍ය තැන බසය නැවැත්විය. ප්‍රශ්නයක් නැත. ආච්චි අම්මා පසුපස දොරෙන් බැස්සාය. බහින විට ඈ මට මෙසේ පැවසීය.
.
                        බොහොම පිං පුතේ.. මං යන්නම්..

ඒ මට ඇති ය..

Wednesday, September 14, 2016

කිරි මධු වැල්

පොඩි කාලෙ ඉඳන් අපි ආදරය කරන්න පටන් ගන්නවා..

මුලින් ම අම්මටයි තාත්තටයි.. 
අම්මගෙ තුරුලෙ ඉන්න, තාත්තට වඩා ගන්න කියලා අඩන්න අපි කැමතියි.. තාත්තගෙ සරම තොටිල්ලක් වගේ හදලා එකෙ පැද්දි පැද්දි හිටිය අතීතයක් මට තිබුනා.. 
නිදා ගද්දි.. අම්මා එනකං.. ඇඳේ කොට්ට පේලියක් එක පැත්තකින් තියල.. 
මාව මැදට අරන් තාත්තා ලස්සනට කවි කිව්ව මතකයක් මට තියෙයි.. 

තාත්තා කිව්වෙ දරු නැලවිලි කවි නෙවෙයි.. 

අම්මා ගැන..

 කරත්ත කවි..

පැල් කවි.. 

කොටින්ම කිව්වොත් සිව්පද.. 

එක දවසක් 'කිරි මදුවැල් කිරි මදුවැල් කිරි අම්මේ..' කවිය මම ආයෙ ආයෙ කියන්න කියලා තාත්තා විසි පාරක් විතර ඒකම කිව්වලු..
.
ආච්චි අම්මා එක්කයි මම පොඩි කාලෙ ගෙදර හිටියේ.. 

දවසක් මට හොඳට ම උණ හැදිලා.. ආච්චි අම්මා කාගෙදෝ අතේ අම්මට පණිවිඩයක් යවලා.. අම්මා අඬාගෙන බෝපැත්තෙ ඉස්කෝලෙ ඉඳන් පයින් ම ගෙදරට දුවන් ආවා කියලා මට කිව්වෙ ආච්චි අම්මා..
.
වැඩට ගිහිං එද්දි මට මොනා හරි ගේන පුරුද්දක් තාත්තට තිබුනා.. මොනා හරි ගෙනාවෙ නැතොත් එදාට මගෙ මූණ හරි නෑ.. පොඩි කාලෙ මං තාත්තා එනකං ගේට්ටුව ලඟ ඉන්නවලු.. 

මේ පුරුද්දෙ විශේෂත්වය වෙන්නෙ මේ අවුරුද්දේ අප්‍රේල් වල තාත්තා බැංකුවෙන් විශ්‍රාම ගන්නකම්, මට වයස අවුරුදු දහ නවයක් වුනත් හැමදාම එද්දි මට මොනවා හරි අරං ආපු එක..
............................................................
ඒ උනත් වයසින් වැඩෙද්දී මේ ආදරේ ටිකක් අඩු වෙනවා කියලයි මට හිතෙන්නේ.. 

ඊලගට ආදරේ කරන්න පටන් ගන්නෙ පාසලේ ගුරුවරුන්ට.. ටීචර් එනකොට පොඩි ගෑනු ලමයි එයාගෙ සාරි පොටේ එල්ලුන, ටීචර් අත්සන් කරන්න යද්දි එයාගෙ බෑග් එක පංතියට අරන් යන්න කොල්ලො ටික පොරකාපු ප්‍රාථමික පාසල් අවදිය අපි කවුරුත් පහු කලා..
..............................................................
තවත් වයසින් වැඩෙනකොට පිටස්තරයින් අපේ ජීවිතේට එනවා.. 

කෙල්ලො පස්සෙන් යන, ලියුම් ලියන, ආදරේ දිනා ගන්න විකාර වැඩ කරන, ඒ ආදරේ විඳින, තුරුල් වෙලා බස් වල යන, ඒ වගේ ම විරහව විදින කාලෙකුත් අපිට අත් විඳින්න ලැබෙයි..
..............................................................
ඒත් මේ තැන් වලදි අපිට අම්මගෙ, තාත්තගෙ ආදරේ මතක් වෙයිද? 

ඔය කාලෙදි අම්මා, තාත්තා තරම් එපා වෙන දෙන්නෙක් තවත් නෑ වගේ.. 
අපෙ ආදරේට වැට බඳින්න හදන හතුරො විදිහටයි එයාලව දකින්නෙ.. මේ කාලෙදි හැම දෙයක් ම කරන්නෙ එයාලට විරුද්ධ ව..
..............................................................
මේ හැම දෙයක් ම කරලා හවස් වෙලා ගෙදර එනකොට..

අම්මා "පුතේ තේ එකක් හදලා දෙන්නද?" අහනවා..
 අපි වයසින් වැඩෙද්දි වෙනස් වෙන්නෙ අම්මලා නෙවෙයි.. 
අපි.. 
අම්මගෙ, තාත්තාගෙ ආදරේ එහෙමමයි..

අශ්වයෝ


ගොඩක් දෙනා අශ්වයන්ට ආසයි..

ඇයි ඒ..??

උන් ප්‍රතාපවත්..

වේගවත්..

ලස්සනයි.


එයාලා පිටේ තමා රාජ කුමාරවරු එන්නේ..

අශ්වයෙක් උනා ම හොඳට දුවන්න ඕනි..
දුවන් නැති අශ්වයෙක්ගෙ වටිනාකමක් නෑ.. සමහර විට අශ්වයා කැමති ඇති පාඩුවෙ පැත්තකට වෙලා ඉන්න.. ඒත් අශ්වයාට දුවන්න සිද්ධ වෙලා තියෙනවා..

කැලේ දි නම් ජීවිතේ රැකගන්න..

සිංහයො..
කොටි..
තවත් ඔය අවශේෂ මාංශ භක්ෂකයො..

ඔය හැම එකාට ම වඩා වේගෙන් දුවන්න වෙනවා.. නැත්නම් ඉතිං ඔය එකෙක්ගෙ රෙසපියකට ඇතුලත් වෙන්නයි වෙන්නේ..


මිනිස්සුත් එක්ක ඉද්දි නම් රේස් ඔට්ටු වල දි..

එතෙන් දී අශ්වයට දුවන්න වෙලා තියෙන්නේ තමන්ගෙ ම උන් එක්ක...

ඒ මොකට ද.. රේස් එක දිනන්න ද??

රේස් එක දිනන්න ඕනි ඔට්ටු දාපු මිනිස්සුන්ට.. අශ්වයා එතෙන්දිත් දුවන්නේ ජීවිතේ රැකගන්න.. දිගින් දිගට ම රේස් එක පැරදුනොත්..
අයිතිකාරයා බොහෝ වෙලාවට හම් වලට විකුනනවා.. සපත්තු වලට..

ඊලඟට..

ඒ සපත්තු දාගෙන දුවනවා මිනිස්සු.. අශ්වයාට මැරුනත් නිදහසක් නෑ.. දුවන්න ම වෙනවා..

බලන් යද්දී අපිත් අශ්වයෝ වගේ.. කොයි වෙලේ බැලුවත් දුවනවා..
ජීවිතේ ඇතුලේ..

"හැම වෙලේ ම දිනන්න.." ඕක තමා ගොඩක් දෙනෙක්ගේ ඔලුවෙ වැඩ කරන්නේ..

ඉස්කෝලෙ පංතියේ පලවෙනියා වෙන්න..

කැම්පස් එකේ බැච් ටොප් වෙන්න..

රැකියාවෙ දි හොඳ ම සේවා නියුක්තිකයා වෙන්න..

ගමේ පිලිගත්ත වැඩිහිටියෙක් වෙන්න..

ඕක තමා ඔලුව අස්සෙ තියෙන්නේ..
වෙන්න බැරි උනොත්... ඊලඟට තමන්ට යන්න බැරිඋන තැනට තමන්ගෙ දරු මුනුබුරෙක් හරි යවන්න හදනවා.. උන්වත් ඉපදිච්ච දවසෙ ඉඳන් දුවෝනවා..

බලද්දී අශ්වයොත් දුවනවා.. අපිත් දුවනවා..

එන්න.. අපි එකතු වෙමු.. එකතු වෙලා දුවමු...


සද්ධාව අප්පා සද්ධාව...

ලංකාවෙ මිනිස්සු හරි වෙනස්... ඇත්ත...
හරි ම වෙනස්... ඕනැ ම දෙයක් වෙනස් විදිහටයි අපේ මිනිස්සු කරන්නේ..
ඒ වෙනසට අපි ගරු කරන්න ඕනි..


පහුගිය දවස් ටිකේ ඉඳන් ම හවස් වරුවෙ පන්සල් යන්නෙ බෝධි පූජාවක් තියලා..
ටිකක් භාවනා කරලා.. ඒකාකාරිත්වයෙන් ඈත් වෙන්න හිතාගෙන..
මොනා උනත් ඒ දේවල් වලින් හිතට දැනෙන්නෙ ලොකු සැහැල්ලුවක්.. ඒ සැහැල්ලුවට හිත ඇදිලා යන්නෙ දන්නෙ ම නැතුව..


ඒ උනත් දැන් නම් පන්සලට ගියහම දකින්නෙ පුදුම විකාර ටිකක්.. 

බෝධිය වටේ ප්‍රදක්ෂිණා කරනකොට..
හැන්දෑ සුලඟත් එක්ක බෝ අතු ලතාවකට පැද්දෙනකොට..
පාතට නැවුනු බෝ අත්තක් යටින් යද්දි මගේ මූණෙ වැදුණේ..
බෝ කොල නෙවෙයි.....


#අපල බෝඩ්...

බෝ ගහේ,
අත පොවන මානයෙ..
අතු වල..
කොල ටිකේ..
අත පොවන හරියෙ නැති බෝ අතු නවලා..
එල්ලලා තියෙන්නේ අපල බෝඩ්..


තමන්ට තියෙන කරදර වල දී බුදු ගුණ මෙනෙහි කරන එක හොඳයි තමයි.. ඒත් බොලේ මේක?? තමන්ට තියෙන කරදර ගැන ලෝකෙට ම කියනවා.. 

මොන එහෙකට ද ඒ...


"අමිල සඳරුවන්ගේ අපල දුරු වේවා"..

"හසිනි දියණියගේ දොස් දුරුවේවා"..

"පුතුගෙ විභාග කටයුතු සාර්ථක වේවා"..

අරක වේවා..

මේක වේවා..

අරෙහෙම වේවා..

මෙහෙම වේවා..

හුහ්... මේහෙම දුක් ගැනවිලි බෝඩ් ගහන එකේ අරමුණ ගොඩ දෙනෙක් ලවා මේවා කියවලා සෙත් ශාන්තියක් ලබා ගැනීමලු.. 

ඒකත් හා කියමුකෝ.... ඒත් අපි පන්සලට එන්නේ.. පහනක් පත්තු කරලා මලක් පූජා කරලා බෝධිය ලඟට යන්නේ.. අපේ හිත සන්සුන් කරගන්න..
කරදර.. ප්‍රශ්න.. මේවා ටිකක් අමතක කරගෙන හිත සැහැල්ලු කරගන්න..


ඒත් දැන්... අපේ ප්‍රශ්න මදිවට අනික් උන්ගෙ ප්‍රශ්න ටිකත් බෝඩ් ගහලා එල්ලලා.. ඒවා බලද්දි අපිට තියෙන ප්‍රශ්න මොනාද කියල හිතෙනවා සමහර වෙලාවට..

ඔය බෝඩ් වැඩේ එකක්..

අනික් එක මීටත් වඩා හපන් වැඩක්..


බෝධින් වහන්සේ වටේට
කැඩිලා බිඳිලා ගිය බුදු පිලිම..


ගෙවල් වල වන්දනාමාන කරන
බුදු පිලිම මොකක් හරි හේතුවක් නිසා
කැඩිලා ගියහම කරන්නේ හොරෙන් ම ගෙනත් බෝධියෙන් තියෙන එක..


ඇයි???

"හම්මේ... කැඩිච්ච බුදු පිලිම ගෙවල් වල තියාගන්න හොඳ නෑ..."

"දේව ශාප වදිනවා.."

"වස් දොස් හිටිනවා.."

"ඔය නිමිත්ත අපල උපද්‍රව තියෙයි කියලා.."

"බුදු පිලිමෙ කැඩුනේ දෙයියො කෝප වෙලා.."

"කවුරු හරි හූනියමක් කරලා.."

"අම්මේ... කතා කරන්නවත් එපා ඒ ගැන.."

මෙච්චර කල් වැන්ද පිලිමෙ දිහා කැඩුනට පස්සෙ බලන්නවත් කැමති නෑ..
බුදු හාමුදුරුවෝ දේශනා කලේ සියල්ල අනිත්‍යයි කියලා.. ඔය මැටි පිලිම උනත් හැමදා ම තියෙන් නෑ.. ඔය මොකක්වත් හැමදා ම තියෙන්න ඕන නෑ.. තියෙන්න ඕනි නිවැරදි අවබෝධය.. 

අහ්... ඒවා කොහෙද..

ඒවා ඕනි නෑ.. පෝය ටිකේ පන්සලට ඇවිල්ලා, බණ කියන වෙලාවට හයියෙන් සාධුකාරයක් එහෙම දීලා, ඔය මල් ටික කාරිය අස්පස් කලා ම ඇති.. 


සද්ධාව සද්ධාව.. අනේ ඉතින්.. 

අපල පිලිබඳ තව දැන්වීමක් ඇවිත් ඔලුවෙ වැදුනා..
බෝ ගහ වටේට තිබ්බ හිස නැති පිලිම වහන්සේලා දිහා ආයෙ පාරක් බලලා පැන් කලේ චෝස් ගාලා බෝධියට හලලා මං ආපහු එන්න හැරුණා.

.
යාන්තමට වැටිලා තිබ්බ රාස්සිගෙ අවුව එක්ක.. හමාගෙන ආපු මද සුලඟේ.. හීන් සීරුවට.. ලතාවකට.. #අපල_බෝඩ් ටික ලස්සනට වැනෙනවා.
.
හරිම පිංවන්තයි....

තනි වූ මතක...

තුහිණ අතුරපු.. සේද යහනක..
ඇහෙන සුරතල් හඬ දිගේ..
පියඹමු ද අපි.. ඈත දුරකට..
සිහින කැටි කර එක වගේ..
.
එකෙකු විලසට.. ගැහෙන දෙහදට..
ආදරේ ගැන හැම විඩේ..
කවි කතා.. මුමුණමු ද එක් වී..
මිහිරි සත් සර නැගෙන සේ..
 .
පාලු වී ගිය.. සොඳුරු තැන්නක..
පතිත පිණි බිඳු නෙත් ඉමේ..
පුංචි මුතු කැට.. වගෙ දිලෙයි..
ඒ අපේ පින්වත් පෙම වගේ.
.
මිහිරි මතකය.. ඉතිරි කර ඔබ..
කිරණ වී අද පුන් සඳේ..
සිහිනෙනුත් මා.. හෙලමි සුසුමන්..
මතක් වී ඔබ හැම දිනේ..